Sunday, November 3, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය – කාදිනල් නොදුටු පැත්ත

පාස්කු ඉරිදා ප්‍රහාරය දැන් පූසෝ ඇදපු නූල් බෝලයක් වගේ. අගකුක් නෑ – මුලකුක් නෑ – කරපු එකෙකුත් නෑ. සහරාන් මෙලහට ඉන්න තැනක ඉදන් commission එකක් දාලා ඇති පාස්කු ඉරිදා ප්‍රහාරයේ පොරගේ අයිතිය තහවුරු කරගන්න.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පශ්චාත් මරණ පරීක්‍ෂණයට දැන් අවුරුදු 2කටත් ලංවෙලා. හිටපු ආණ්ඩුවේ අයත්, ඉන්න ආණ්ඩුවේ අයත් නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ තමයි අපිට පේන්නේ. Media / social media වල තියෙන දේවල් බැලුවහම නිකන් පිස්සු වගේ. එකකට එකක් ගැලපෙන්නේ නෑ. කුමන්ත්‍රණ ගොඩයි, මහමොලකාරයෝ ගොඩයි, ඒත් එක වැරදිකාරයෙක් නෑ, වගකිවයුතු එකෙක් නෑ. Conspiracy theories විතරයි.

මුල්ම කාලේ සාරා ජෙස්මින් කෙනෙක්ව අල්ලගෙන, RAW එක මේකට පටලවලා, ඉන්දියාව පට්ට ගහපු theory එක දන්නෙම නැතුව media / social media රැල්ලේ ගිලිලා ගියා. සාරා ජෙස්මින් පස්සේ දුවලා ඉන්දියාව තරහ කරගෙන RAW එකෙන් ඉල්ලන් කන්නේ ඇයි කියලා සමහර විට theory එක ගොඩනගපු කට්ටියටම හිතෙන්න ඇති. දැන් කාටවත් සාරා ජෙස්මින්, අබුබකර්, ජෙයකුමාර්, RAW එක මතකම නෑ.

පස්සේ මතකයි තවත් කට්ටියක් මේක චීනෙට ඇනෙන්න, ඇමරිකාවට ලංකාවට ගොඩබහින්න, CIA එක කරපු පැලෑන් එකක් කියලා පට්ට ගැහුවා. එකත් අර RAW theory එක වගේම මාධ්‍ය රැළ්ලේ අතුරුදහන් වෙලා ගියා. White mastersලාව තරහ කරගෙන ඉල්ලන් කන්නේ ඇයි කියලා සමහර විට theory එක ගොඩනගපු කට්ටියට හිතෙන්න ඇති. West එකට බැනලා ඒ පැත්තේ ඉන්න බහුතර කතෝලික ජනතාව තරහ කරගන්නේ ඇයි කියලා කාදිනල්ටත් හිතෙන්න ඇති.  

එක conspiracy theoryයක් යට යනකොට තව conspiracy theoryයක් උඩ එනවා. දැන් නැගලා යන හොදම conspiracy theoryය තමයි ගෝඨාභය conspiracy theoryය.

එක එක කොමිෂන් තියන්න දෙයක් නෑ, සංහිදියාවෙන් අන්ධ වුනු පරණ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව ගැන දැක්වු ඔල මොට්ටල අවධානය නිසා සහරාන් වැඩ්ඩෙක් නොවුනත් පාස්කු ඉරිදා ප්‍රහාරය කල බව පොඩි ලමයෙකුට උනත් තේරෙනවා. ඒත් එහෙමයි කියලා ජන්දේ පැරදිලා ගෙදර ගිය පරණ ආණ්ඩුවේ එකෙක්වත් කැමතිනෑ අත උස්සලා වරද බාර ගන්න. කවුද කැමති තමන්ගේ බෙල්ල තමන්ම කපාගන්න. කවුද කැමති පාස්කු ඉරිදා ප්‍රහාරයේ ආදීනව පල දීලා ඊලග චන්දෙන් පස්සෙත් ආයිත් විපක්ෂයේම ඉන්න.

ඉතිං පරණ ආණ්ඩුවේ කට්ටිය මේකෙන් ගොඩ යන්නනම් පාස්කු ප්‍රහාරයේ වගකීම එක්කෝ වෙන කාගේ හරි ඇගේ ගහන්න ඕනා, නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ කොමිෂන් වාර්ථා, පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන වල් බුරුස් කරන්න ඕන.

සංහිදියාවෙන් අන්ධ වෙලා, ජාතික ආරක්‍ෂාව කුණු බක්කියට දාලා, දේශපාලන වාසි බලාපොරොත්තුවෙන්  යහපාලන නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න ඇවිත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉල්ලන් කාලා ගෙදර ගියපු පරණ ආණ්ඩුවේ ගොඩක් අයට පාස්කු ලේ සෝදා නොගෙන නැවත දේශපාලන ගමනක් නැ. ඒ පරණ කට්ටිය එක්කෝ අත්වල ලේ සෝදගෙන ඊලග ඡන්දෙට එන්න ඕනා, නැත්නම් අනිත් අයගෙ අත්වලත් ලේ ගාලා ඡන්දෙට එන්න ඕන. එතකොට ඊලග ඡන්දෙදී අපිත් එකයි, උනුත් එකයි, අඩුම ලේ ගැවුන එකා තෝරගනින් කියන තියරිය ගේන්න පුලුවන්. 2024දිත් SJB, UNP, JVP, FSP (ඇයි 43 බලකාය…!) ඔය ඔක්කොමගේ පොදු හතුරා ගෝඨාභය. ඉතිං ඔය ඔක්කොම පක්‍ෂවලට ලේසිම වැඩේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාභයගේ ඇගේ තියලා කපන එක. Simple arithmetic නේ……!

පරණ ආණ්ඩුව කාලේ පත්කල, මේ ආණ්ඩුව කාලේ වාර්ථාව ආව අවසාන ජනාධිපති කොමිෂමට කලින් කොමිෂන් 2ක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පත්කෙරුනා. ඒවාත් පත්කෙරුනේ පරණ ආණ්ඩුව කාලේමයි. ඒවායේ හිටියේ පරණ ආණ්ඩුවේ දන්න කියන කට්ටියමයි. පුදුමේ කියන්නේ බලය තියෙන ඒ කාලේ පත්කරපු ඒ එකම කොමිසමකටවත් ගෝඨාභය මේ ගේම දුන්නා කියන එක අහු උනේ නැති එකනේ. ශානි අබේසේකරලා නෙමෙයිද ඒ කාලේ ඔය පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්‍ෂණ කලේ. ඉතින් ඒගොල්ලො වැඩ්ඩො කිවුවනේ.

සහරාන් යුද හමුදා බුද්ධි අංශ payroll එකේ හිටියා කියන එක ඒ කාලේ කොමිෂන් පරීක්‍ෂණ කරලා හොයා ගත්තේ නැද්ද ? සොනික් සොනික් කවුද කියලා ඒ කාලේ කොමිෂන් පරීක්‍ෂණ කරලා හොයා ගත්තේ නැද්ද ? සුරේෂ් සලේ මේක පිටිපස්සේ හිටියා කියලා ඒ කාලේ කොමිෂන් පරීක්‍ෂණ කරලා හොයා ගත්තේ නැද්ද ? ඒවා මතක් උනේ බලේ නැති වෙනකොටද ? එතකොට බුද්ධි අංශ, සොනික් සොනික්, සුරේෂ් සලේ ගෝඨාභය ජනාධිපති කරන්න බලාගෙන, ජාතික ආරක්‍ෂාව අනතුරේ බව පෙන්වන්න, පාස්කු ඉරිදා ප්‍රහාරය කලයි කියන තියරිය ගේන්න මතක් උනේ 2019 ජනාධිපතිවරණය පැරදුනාට පස්සෙද ? 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය පැරදුනා නම් ඒ තියරිය තවදුරටත් අදාළද ? ඉතිං මේ theoryය ටිකක් ගොන් වගේ නැද්ද ?

හැබැයි ඉතිං යහපාලන ආණ්ඩුවටත්, යහපාලන ආණ්ඩුවේ වැඩ්ඩො කිවුව ශානි අබේසේකරලාටත්, යහපාලන ආණ්ඩුව දාපු කොමිෂම් වලටත් හොයා ගන්න බැරි විධියට බුද්ධි අංශ, සොනික් සොනික්ලා, සුරේෂ් සලේලා මේ ගේම දුන්නනන් ඒ අය සුපිරි වැඩ්ඩො නෙවෙයිද ?

පිටින් බලන කෙනෙක්ට ගෝඨාභය බුද්ධි අංශ දාලා, සහරාන්ව අන්දලා, පාස්කු ඉරිදා ප්‍රහාරය කරලා, ජාතික ආරක්‍ෂාව අනතුරේ කියලා පෙන්නලා, 2019 ඡන්දේ දින්නා කියන එක හොද තිර පිටපතක්. මොකද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන TV channel වල යන news බලලා, social media වල යන post කියවලා, ඇත්ත නැත්ත මොකක්ද කියලා තේරෙන්නේ නැති තරමට පාස්කු නූල් බෝලේ පැටලිලා අන්දොස් වෙලා ඉන්න හුදී ජනතාවට කවුරුහරි මේක කාදිනල්ම සහරාන්ට කියලා කරව ගත්තා කියලා කිවුවත් විශ්වාස කරනවා.

හුදී ජනතාව කෙසේ වෙතත් කාදිනලුත් පාස්කු ඉරිදා නූල් බෝලේ පැටලිලා තක්බීර් වෙලා වගේ තමයි පෙනෙන්නේ. එක්කෝ නොදැන පැටලිලා. නැත්තන් දැනගෙන පැටලිලා දන්නේ නෑ වගේ ඉන්නවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙදි ගැහුවේ ක්‍රිස්තියානි පල්ලි වලට. මැරුනේ කතෝලික ජනතාව. ඉතිං කතෝලික ජනතාව උත්තර ගන්න බලන්නේ කාදිනල්ගෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ කොමිෂන් වලටත් නැති උත්තර කාදිනල් ලග තියේද ? නෑ…! එතකොට කාදිනලුත් මේකේ උත්තර ගන්න කවුරු හරි දිහා බලන්න එපායැ. පේන විදිහට කාදිනල්ටත් තියෙන එකම ගැලවුම ගෝඨාභය conspiracy theoryයට තඩිබාන එකයි.  

මේක කරපු සහරාන්ලගේ ඉතුරුවෙලා ඉන්න කට්ටියට ඉක්මනට නඩු දාලා, නඩු අහලා, දඩුවම් දෙන එක  කාදිනල්ට නිකන් මදි වගේ. එක්කෝ එකට කැමති නැ වගේ. සහරාන්ලගේ වෛරය backfire වෙයි කියලා බයවත්ද ?  කාදිනල්ට ඕන ප්‍රහාරය වලක්වන්න කටයුතු නොකරපු, පරණ රජයේ හිටපු කට්ටියට දඩුවම් දෙන්න. කථාව හරියටම හරි. ඒත් ඒක කාලේ ඇදෙන ගේමක් නොවෙයිද ? කාදිනල්ටත් මේකේ ලග විසදුමට වඩා කාලය ගැනීමේ විසදුම් වැදගත් බවයි අපිට පේන්නේ. ඒත් එක්කම කාදිනල්ගේ අන්ධ භක්තිය දැන් සහරාන්ට වඩා conspiracyය ගැනයි.

ඉතිං පාස්කු ප්‍රහාරයේ වගකීම ඇත්තටම පැටවෙන පරණ ආණ්ඩුවේ කට්ටියට ගොඩයන්න තියෙන හොදම bridge එක කාදිනල්ගේ අන්ධ භක්තියයි, ගෝඨාභය scapegoatටුයි…! පරණ ආණ්ඩුවේ කට්ටිය කාදිනල්ගේ මේ අන්ධ භක්තිය, කාදිනල්ගේ පල්ලියේම, ආණ්ඩු  විරෝධි, NGO පෙරමුණ ලවා ලස්සනට ගෝඨාභය ගිණුමට බැරකරමින් සිටී. ඒ කට්ටිය කාදිනල්ට ගෝඨාභය conspiracy theoryය ගෙඩි පිටින් කවමින් සිටී. දේශපාලන වාසියට, පරණ ආණ්ඩුවේ කට්ටිය, කාදිනලව භේදභින්න කර, කතෝලික ජනතා විරෝධයක් අවුලවා, පල්ලිය හරහා කරන මේ game එකේ අනාගත මිල අධිකය. එහි සලකුණු දැන් දැන් පෙන්නුම් කරමින් තිබේ.  

ගෝඨාභය සිංහල බෞද්ධ නායකයෙකි. බහුතර සිංහල බෞද්ධ ජනතාව ඇතුලු 69 ලක්ෂයක් ගෝඨාභය බලයට ගෙන ඒමට කතිර ගැසුවෝය. පාස්කු ඉරිදා ප්‍රහාරයට විනිශ්චය ඉල්ලා ජිනීවා ගොස් ගෝඨාභයට පහර ගැසීමට යැමෙන් වෙන එකම දේ සිංහල බෞද්ධ ජනතාව එකතු වීමයි, සිංහල බෞද්ධ ජනතාවගේ විරෝධය පල්ලිය වෙත එල්ල වීමයි, සිංහල බෞද්ධ ජනතාව තව තවත් ගෝඨාභය වටා රැස් වීමයි.

ඒ නිසා කාදිනල්ගේ පල්ලියේම, ආණ්ඩු  විරෝධි, NGO පෙරමුණු, පාස්කු ඉරිදා ප්‍රහාරයට විනිශ්චය ඉල්ලා ජිනීවා යාම, ජනාධිපතිගේ ඇමරිකානු සංචාරය අල්ලා උද්ඝෝෂණය කිරීම, අගමැතිගේ ඉතාලි සංචාරය අල්ලා උද්ඝෝෂණය කිරීම, original ගොන් කමකි. මොකද ජිනීවා හන්දියේ උද්ඝෝෂණය කලයි කියා මානව හිමිකම් කොමිසමද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ නොකරන බැවිනි (වැරදිලවත් එහෙම කරලා වැරදිකාරයෝ හෙවුවොත් හොම්බෙන් යන්නෙත් හිටපු ආණ්ඩුවේ කට්ටියමයි…..!) .

කාදිනල්ගේ පාලනයෙන් ගිලිහෙන, කාදිනල්ගේ පල්ලියේම, ආණ්ඩු  විරෝධි, NGO පෙරමුණේ මේ සෙල්ලමේ අවසන් ප්‍රථිඵලය බූමරංග වනුයේ කාදිනල් වෙතටමය. ඔය පහුගිය දවස් වල ඥානසාර හාමුදුරුවෝ, වෙනත් එක එක හාමුදුරු ගොල්ලෝ කියපු දේවල් වල හරය ගත්තම පල්ලියට විරුද්ධව නැගෙන බලවේගය කාදිනල්ට නොතේරුනාට හුදී ජනතාවට හොදින් තේරේ. SJB, UNP, JVP, FSP, 43 බලකාය ඇතුලු ඔය ඔක්කොම දේශපාලන අදබාලයෝ කරන්නේ කාදිනල්ව ‍ෆෝම් කරලා, ගෝඨාභයට එරෙහිව කතෝලික විරෝධයක් ඇති කරලා, 2024දි හරි ආණ්ඩුව දනගස්සන්න බලන බොරදියේ මාලු බාන game එක.

ඉතිං දැන් කාදිනල්ට ඇ‍හැරෙන්න කාලය හොදටම හරිය. නැත්තන් අන්තිමේදි කාදිනල් ඇ‍හැරෙන්න කොට පරක්කු වැඩිය. එ් වෙනකොට කාදිනල් වටේ හිටපු සිංහල බෞද්ධ ජනතාවත් තරහ වෙලාය. ඇ‍හැරෙන්න කොට කාදිනල් එක්ක හිටගන්න ඉන්නේ බෝම්බ තියපු සහරාන්ගේ කට්ටිය විතරමයි…. එතකොට අපිටත් දුකෙන් උනත් කියන්න වෙන්නේ, අහෝ…. කාදිනල් නොදුටු මොක්පුර…….!

Latest news

Related news