Friday, December 13, 2024

“අවුරුදු 3ක් පොල් ගෑවද?” පාස්කුවෙන් පස්සේ ඇත්තටම මොකද වුනේ?

මේ වනවිට රටේ උණුසුම් මාතෘකාව ගෝල්ෆේස් ෆන්ඝෝෂණය වුවත් නුදුරේදීම ඒ හරහා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු කියා මාතෘකාවක් එලියට බැසීමට නියමිතය.

සමහරු නොදන්නවා උනාට නිර්පාක්ෂික සුවාධීන අරගලය කියාගෙන කරලියට හා වැඩපිළිවෙල පසුපස සිටින්නේ කතෝලික ප්‍රජාව උසි ගන්වමින් දේශපාලනය කරන කපටි හිවලුන් පිරිසක් බව තිරය පිටුපස කතාව දන්නා අයට රහසක් නොවේ.

අරගලයට පුර්ණ දායකත්වය පල්ලි හරහා ලැබෙද්දී කතෝලිකයින් හා මුස්ලිම් ප්‍රජාව එයට සිය උපරිම සප් එක දෙමින් ඉතා අලංකාරව තිර පිටපතට අනුවම නාටකය ලියවෙමින් තිබෙද්දී පාස්කු ප්‍රහාර විමර්ශන වලට පසුගිය වසර 3ක කාලයේදී ඇත්තටම වෙච්ච දේ ගැන සොයා බැලීමේදී හෙළිවන තිත්ත ඇත්ත කරුණු මෙසේය…

පාස්කු විමර්ශන කළේ කොහොමද? කීදෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවද?

පාස්කු ප්‍රහාරයට පස්සෙ මොනවද වුනේ කියල අපි කවුරුත්ම හරියට දන්නෙ නෑ නේද? ඒත් අපි හැමෝම ඇත්ත දැනගන්න කැමතියි. මොකද අපි රටක් විදිහට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකරමින් ඉන්නවද? නැත්ද? වගේ දහසක් ප්‍රශ්නවලට උත්තර එතන තියෙන නිසා.

පාස්කු ප්‍රහාරය වගේ අන්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු කියන්නෙම ගොඩක් සංකීරණ ක්‍රියාවලියක්. ඒත් ඇමරිකාවෙ එෆ්.බී.අයි ආයතනය පාස්කු පරීක්‍ෂණ කටයුතුවලට එයාලගෙ දායකත්වය දීපු නිසා විශාල පිටුවහලක් ලැබෙනවා පරීක්‍ෂණ සාර්ථකව දිගටම කරගෙන යන්න. ඒ වගේම අපේ නිලධාරීන්ගේ තියෙන අසහාය කැපවීම නිසාම පාස්කු ප්‍රහාරයට සෘජුවම සහ වක්‍රව සහයෝගය දීපු 735ක් මේ වනවිට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකෙන් 196ක් දැනටමත් ඉන්නෙ රක්‍ෂිත බන්ධනාගාරයේ. රැඳවුම් නියෝග මත 19ක් ඉන්නවා. පරීක්‍ෂණ ඉවර කරල 81දෙනෙකුට විරුද්ධව අධිචෝදනා ගොනු කරල තියෙනවා. තවත් 453ක් ඇපමත නිදහස් කරල තියෙනවා. ඒ වගේම 79කට ගම්පහ, මහනුවර, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය, මඩකලපුව මහාධිකරණවලදී වගේම කොළඹ හා කෑගල්ල මහාධිකරණවල ඇති විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණවලදි චෝදනා 25,753ක් යටතේ නඩු 27ක් පවරල ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ හා සංවිධානවල දේපලවලට මොකද වුනේ?

මේ වෙනකොට ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ගේ වගේම සංවිධානවලට සම්බන්ධ රුපියල් ලක්‍ෂ 3650ක් වටින ඉඩම්, ගොඩනැගිලි, වාහන වගේම රුපියල් ලක්‍ෂ 1680ක් වටින රත්තරන් බඩු රාජසන්තක කරල තියෙනවා. මීට අමතරව පාස්කු ප්‍රහාරයට හා මෙරට අන්තවාදය ප්‍රවර්ධනයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ සහයෝගය දැක්වූ දේශපාලනඥයින්, රජයේ හා පුද්ගලික සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු සියළුම පාර්ශවවල තරාතිරම නොබලා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ සහ ආයතන විසින් පියවර අරගෙන අවසන්.

ප්‍රහාරයේ මහ මොළකරුට මොකද වුනේ?

කටාර් රාජ්‍ය තුළ වසර 20ක් රැකියාවක් කරමින් එහි සිටි ශ්‍රී ලංකිකයන්ට අන්තවාදී දේශන පවත්වා ISIS මූලධර්මාවාදය 2016දී ශ්‍රී ලංකාවට රැගෙනවිත් සහරාන් සමඟ එක්වී අන්තවාදය වැපිරීම, සංවිධානයට තරුණයන් බඳවාගැනීම, පුහුණුව ලබාදීම හා පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කිරීම සිදු කරන්නෙ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් එහෙම නැත්නම් නවුෆර් මවුලවි යන අයයි. ඔහු විසින් සිදු කරන ලද මෙම අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වසර දෙකක දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, ඔහුට හා ඔහු සමඟ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන්නන්ට ඇමරිකානු ෆෙඩර්ල් අධිකරණයේ නඩු පවරා ඇත. මීට අමතරව මොහුට එරෙහිව ඉහත චෝදනා යටතේ ශ්‍රී ලංකාව තුළ ද නඩු පැවරීමට කටයුතු සූදානම් කර ඇත.

සාරා ජස්මින් ගැන පරීක්‍ෂණවල ඇත්තම තත්ත්වෙ මොකක්ද?

පාස්කු ප්‍රහාරය ගැන වැරදි මත ප්‍රචාරය කරන ගොඩක් අය ඇදල ගන්න නමක් තමයි මහේන්ද්‍රන් පුලස්තිනී එහෙම නැත්නම් සාරා ජස්මින් පිළිබඳ පරීක්‍ෂණය. පාස්කු ප්‍රහාරයෙන් මැරුණු අයගේ මෘත දේහ අතර සාරාගෙ මෘත දේහය නැහැ කියල කරුණු අනාවරණය වීම නිසා සාරා සම්බන්ධ සිදුවීම වඩාත් සංකීරණ තත්ත්වයට පත්වෙනවා. ඉතින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සියලු සිරුරු කොටස් නැවත ගොඩ අරගෙන DNA පරීක්‍ෂණ සිදුකරන්න අවශ්‍ය කටයුතු සිදුකරමින් ඉන්නවා. ඒ වගේ පරීක්‍ෂණයක් සාර්ථකව කරන්න කාලය අවශ්‍යයි.

පාස්කු ප්‍රහාරය වගේ අන්තවාදී ප්‍රහාරයක් නැවත ඇති නොවෙන්න මොනවද කරල තියෙන්නෙ?

නැවත මේවගේ මේලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් ඇතිවීම වළක්වන්න මුස්ලිම් පාසල්වල විෂය නිර්දේශ සාධනීය සංශෝධනයට ලක් කිරීම, අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ප්‍රකාශනය වීම වැළැක්වීමට පියවර ගැනීම, බුර්කාව තහනම් කිරීමට පියවර ගැනීම, ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තියක් සකස් කිරීම, මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ වකුෆ් පනත ප්‍රතිශෝධනය කිරීම, විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය මගින් අන්තවාදය වපුරවන්නන් නියාමනය කිරීමට පියවර ගැනීම, මුස්ලිම් සිවිල් සමාජය බලගැන්වීමට කටයුතු කිරීම, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය බලගැන්වීම, සර්ව ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා අන්තර් ආගමික සහජීවනය තහවුරුවන පරිදි ආගමික මධ්‍යස්ථාන, දහම් පාසල් ඉදිකිරීම හා පවත්වාගෙන යාම, හලාල් සහතිකය නිකුත් කිරීමට ආගමික වියතුන්ගෙන් සැදුම්ලත් නව කමිටුවක් පත් කීරීම, ශ්‍රී ලංකා අනන්‍යතා අංකය සහිත උප්පැන්න සහතික නිකුත් කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුව ආගමන හා විගමන නීතිය සංශෝධනය කිරීමත් මේ වනවිට සිදුකර අවසන්.

ප්‍රහාරයට සම්බන්ධ හා අනෙකුත් අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද?

ඒ වගේම පාස්කු ප්‍රහාරයට මුල්වූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් (JMI), ජාතික තවුහිත් ජමාත් (NTJ), විලයාත් අස් සෙයිලානි (WAS) කියන සංවිධාන තහනම් කිරීම, මීට අමතරව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමාත් අන්සාරිස් සුන්නතුල් මොහොමදියා, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, එක්සත් තව්හිද් ජමාත්, ධාරුල් අදර් අත් තබවියා, ජමාතුල් මුස්ලිමීන්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය (ජාමියා), සුපර් මුස්ලිම් කියන සංවිධාන වගේම ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන වන Al-Qaeda (AQ) සහ Islamic State of Iraq and Syria (ISIS) කියන සංවිධාන මෙරට තහනම් සංවිධාන බවට පත්කිරීමටත් රජය කටයුතු කරල තියෙනවා.

අන්තවාදයට යොමු වූ තරුණ පිරිස් ඉන් මුදවා ගැනීමට කලේ මොනවාද?

වඩාත්ම වැදගත් කාරණය තමයි පවතින නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇති ගැටළු නිරාකරණය වූ වහාම දැඩි අන්තවාදී ආගමික මතවාද දරන්නන් ඉන් මුදවා ගැනීමට පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේවන විට අවසන් කර තිබීම. ඒ වගේම එවැනි විනාශයක් නැවත සිදුවීම වළක්වා ගැනීමට බුද්ධි අංශ ශක්තිමත් කිරීමත් මේ වන විට සිදුකර අවසන්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ ?

පාස්කු ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් බවට පත්වූවන්ගේ ජීවතවල වටිනාකම මුදලින් මැනීමට නොහැකි නමුත් එම පවුල්වල අයට යම් අස්වැසිල්ලක් වීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක්ද, තුවාල ලැබූවන්ට රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්‍ෂ පහ දක්වා මුදලක්ද ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 2019 නත්තල වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ කැරොල් මෙහෙයට වෙන්කර තිබූ රුපියල් 3,000,000/-ක මුදල වින්දිතයන්ගේ සුභසාධනයට යොදා ගැනීමට ලබාදීමත්, ඇතැම් වින්දිතයින්ට නිවාස පවා පිරිනැමීමත් සිදුකරල තියෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයන් සමග සම්බන්ධ වී ගෙන ඇති ක්‍රියාමාර්ග

2020 ජනවාරිවල ඉඳල මේ වන විට විදේශීය බුද්ධි හා ආරක්‍ෂක සේවා සමග පවතින සම්බන්ධතා භාවිතා කරලා පාස්කු ප්‍රහාරයට සහ අන්තවාදය වැපිරවීමට සෘජුව හා වක්‍රව සම්බන්ධවීම හා ආධාර අනුබල දීම හේතුවෙන් විදේශයන්හි අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයින් 52ක් ලංකාවට ගෙනල්ලා ඔවුන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කර තියෙනවා.

ඒ වගේම විදේශීය රාජ්‍ය කිහිපයක්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව FBI අයතනය පාස්කු ප්‍රහාරයට ලක්වුණ ඇමරිකානුවන් පස්දෙනාට යුක්තිය ඉෂ්ඨ කරන්න එරට ෆෙඩර්ල් අධිකරණයේ නඩු පවරන්නෙ අවුරුදු දෙකකට පස්සෙ. මොකද යුක්තිය ඉෂ්ඨ කරන මාර්ගය සැමවිටම යුක්ති සහගත විය යුතු නිසා, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) නිලධාරීන් මෙරට අන්තවාදය ව්‍යාප්තියට කටයුතු කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතිකයින් තිදෙනෙකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම, ඒ වගේම පාස්කු ප්‍රහාරකයින් සමඟ සම්බන්ධතා පවත්වන ලද මාලදිවයින් ජාතිකයින් පිරිසක් මූලික විමර්ශනවල දී හඳුනාගෙන ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මාලදිවයින් රජය ක්‍රියාකිරීම වගේ ක්‍රියාමාර්ගත් මේ වනවිට අරගෙන අවසන්.

සැබෑ යුක්තිය වෙනුවෙන් අප කල යුත්තේ කුමක්ද?

මේ හැමදේම දිහා බැලුවම රටක් විදිහට අපි පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් උපරිම ආකාරයෙන් සාධාරණය ඉටුකිරීමට කටයුතු කරල තියෙනවා. ඒත් යම් යම් පිරිස් විවිධ දේශපාලන අරමුණු ඉටුකරගැනීමට නින්දිත උත්සහයක් දරණ බව හොඳටම පේන්න තියෙනවා. යුක්තිය කියන්නෙ හදිසියට ඉෂ්ඨකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යුක්තිය කියන්නෙ යුක්තිසහගත ක්‍රියාමාර්ගවලින් ඉෂ්ඨ කරගන්නම ඕන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් විදහට අපි තේරුම්ගන්න ඕන දේ තමයි ඒක. ප්‍රහාරයෙන් අගතියට පත්වූවන්ගේ දුක වෙදනාව මතින් මතින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට උත්සාහ දරණ අයවලුන් හඳුනා ගනිමු. හඳුනාගෙන ප්‍රතික්‍ෂේප කරමු. අපි යුක්තිය වෙනුවෙන් පෙළගැසෙමු!!

Source: colombotribune.com

Latest news

Related news